අයහපත් කාලගුණය නිසාවෙන් ඊයේ (17) සහ අද (18) යන දෙදින අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අපොහොසත් වූ සිසුන්ට විශේෂ විභාගයක් පැවැත්වීමට තීරණය කර තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වු සිසුන් සඳහා යම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග කොමසාරිස්වරයාට උපදෙස් ලබාදී තිබේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දිගින් දිගටම බලපැවැත්වුණු අයහපත් කාලගුණික තත්ත්වය මත ඊයේ පැවති ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට ඇතැම් විභාග අපේක්ෂකයින් හට අවස්ථාව නොලැබුණු බවට තොරතුරු වාර්තා වූ බව
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර සඳහන් කර තිබුණි.
ඒ අනුව අදාළ සිසුන් වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස්වරයාට දැනුම් දුන් බව සඳහන්ය.
ඒ පිළිබඳව සිය විශේෂ අවධානය යොමු කරන බවට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසා සිටි අතර ඒ අනුව අදාළ සිසුන් සඳහා විශේෂ විභාගයක් පැවැත්වීමට තීරණය කර ඇත.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට යම් ගැටලුවක් වුයේ නම් ඒ පිළිබඳව "1911" දුරකථන අංකයට අමතා දැනුම් දෙන ලෙස ද විභාග කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි.
